රෝහින්ගා මිනිස් සංහාරය

hasan

රෝහින්ගා Rohingya යනු මියන්මාරයේ  රක්නී Rakhine  නම් පලාතේ ජීවත්වන මුස්ලිම් ජන කොට්ඨාශයකි. රක්නී නම් පළාත සුළු ජාතියක් වන රෝහීන්ගා වැසියන් හා මහ ජාතිය වූ රක්නී බෞද්ධ ජනතාවගෙන් යුතු වන අතර එම පළාත මියන්මාරයට ඇදී ඇත්තේ ක්‍රි.ව 1700 තරම් ඈත කාලයේය. ඒ අනුව රෝහින්ගා වැසියන් මියන්මාරයේ රාජ්‍යයට අයත් වැසියන් වී ඇත. 2012 රෝහින්ගා වැසියන් ලක්ෂ 8 ක් පමණ ජීවත්ව ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවලට අනුව ලෝකයේ වඩාත්ම හිංසනයට පත්වන සුළුජාතිය රෝහින්ගා වැසියන් ලෙස සටහන් වේ.

2012 වසරේ මියන්මාර බෞද්ධයින් හා රාජ්‍ය ආරක්ෂක අංශ ගෙනයන රෝහින්ගා සමූළ ඝාතන මිනිසත් බවට නිගාවකි. එයින් දිවි බේරාගත් හසන් හසන් නම් තරුණයා මුන ගැසීම හා ඔහු සමග කළ කතාබහ පහත පලවේ.

Rakhine  නම් පලාතේ සිතියමක්

Rakhine නම් පලාතේ සිතියමක්

නේපාලයේ, රෝහින්ගා වැසියන් මුණ ගැසීම
නේපාලයේ UNHCR එකට අනුබද්ධ රාජ්‍ය නොවන ආයතනයක් වන  Kathmandu Community Centre නම් අරුම පුදුම තැනකි. එහි විවිධ ජාතීන් 300ක් පමණ සිටි. මෙම විවිධ වූත් විචිත්‍රවූත් මිනිසුන් ගැහැණුන් හා ළමුන් මෙහි බොහෝ සෙයින් සාමකාමීව විසූවා යැයි කීමේ වැඩි වැරැද්දක් නැත. සියල්ලෝම UNHCR රැකවරණ ලාභීන්  විය.

මාගේ නිරීක්ෂණය අනුව මෙම රැකවරණ ලාභීන් වර්ග 3 කට වර්ග කර ගැනීමට මට හැකිකිවිය.

1.    සැබෑවට ජාතිය ආගම හෝ දේශපාලන කරුණු මත ජීවිත අවධානම නිසා මෙහි රැකවරණය පතා පැමිණි පිරිස්

2.    යම් රටක සැබෑ ජාතික. ආගමික හෝ දේශපාලන සිද්ධියක් පදනම් කොට ගෙන එයට තමන්ගේත් සම්බන්ධයක් තිබෙන බවට සත්‍ය සහ මිත්‍යාව එකට කලවම් කොට විදේශීය රටක පදිංචි වීමේ අදහසින් උපාය මාර්ගිකව පැමිණි පිරිස්

3.    සම්පූර්ණ මිනිස් ජාවාරම්කරුවන් ගේ මාර්ගයෙන් මිලියන ගණනින් මුදල් ගෙවා සම්පූර්ණ ව්‍යාප ලිපි ලේඛණ සාදාගෙන පැමිණි පිරිස් වශයෙන්

මෙම ආයතනය තුල සැබෑ දේශපාලන පීඩකයන්ව තෝරා බේරා ගැනීම සඳහා මා අපූරු උපක්‍රමයක් තෝරා ගන්නා ලදී. එනම් එහි ආරක්ෂ නිලධාරීන්ට ආචාර කිරීමට හැර වෙනත් කිසිවෙකු සමග මා කථා නොකළා පමණක් නොව සිනහ සීමෙන් ද වැලකී සිටීමට ද බොහෝ සේ උත්සාහ ගත් අතර හැකි හෑම විටම මුඛ වාඩමක් පැළඳ සිටීමට වග බලා ගත්තෙමු. එයින් ඔවුන් ගැන නිරීක්ෂණයන් පහසු වුණා යැයි මම සිතමි.

මේ එක් නිරීක්ෂනයකි.
ඔවුන් තිදෙනෙකි. ඔවුන් නූඋස්ය. නොමිටිය. තරුණය. ශරීර දැඩි කර්කශභාවයන්ට මුහුණ දී ඇති බව ඉතා පහසුවෙන් හඳුනාගත හැකි විය.  ඔවුන්ගේ මුහුණු විඩාව හා විවිධ සංකීර්ණ ඉරියව් මවමින් මා නොදන්නා බසකින් ඔවුන් දොඩමළුවෙමින් දුරකතනයක යමක් බලමින් එම දුරකතනය එකිනෙකාට මාරු කරනු මා නෙත ගැටිණි. ඔවුන් රෝහින්ගා සුචී යන වචන භාවිතා වන බව මා හට ශ්‍රවණය විය. ඔවුන් පෙනුමෙන් කුමන ජාතිකට අයත් දැයි අනුමාන කළ නොහැකි මුත්, මියන්මාරයෙන් පැමිණි සරණාගතයන් විය හැකි බවට මා අනුමාන කළේය. මා සෙමින් ඔවුන් වෙත නෙත්හෙලූ කල ඡායාරූප සමූහයක් නරඹන බව මට පසක් විය. මේ ඔහුන්ගේඅත්දැකීම අකුරු කිරීමට කළ කුඩා උත්සාහයකි. ඒ සඳහා විශ්වාසවන්ත භාෂා පරිවර්ථකයෙක් සොයා ගැනීමටත් ඔවුන් සමග විශ්වාසයක් ගොඩ නැගීමට ගත වූ කාලය මසක් පමණ වෙතැයි මම සිතමි.

නේපාලය ගෞතම බුදුන්ගේ ජන්ම භූමිය වීමත් ඔහුගේ දර්ශනයේ ප්‍රධාන ඉගැන්වීම වන අවිහිංසාවාදය මේ වන විට හිංසාවාදයක් වී ඇත්තේ කෙසේද යන්නත් තේරුම් ගැනීමේ අපහසුවකින් පුද්ගලිකව මා ද ව්‍යාකූලත්වයකට පත්ව සිටි. මියන්මාරයේ රෝහින්ගා වැසියන්ට මෙන්ම අනාගතයේ ලංකාවේ මුස්ලිම්වැසියන්ට ද මෙවන් ඉරණමක් අත් නොවීමට නම් අප කළ යුත්තේ කුමක් ද යන්නටත් පිළිතුරක් මට නොතිබූ බැවිනි.

මේ එම රෝහින්ගා වැසියකු වන හසන් හසන්ගේ කතාවයි:

පතුල: ඔබ දන්න විදිහට රෝහින්ගා ගැටුම ඇති වුනේ කවද ඉදන්ද කොහොමද?

හසන්: අපි 2008 අවුරුද්දේ ජූනි අග ඉදලා මේ ප්‍රශ්නයට  මූණ දුන්නා. මුල්ම සිදුවීම වුනේ රෝහින්ගා  පිරිමි දෙන්නෙක් බෞද්ධ කාන්තාවක් දූෂණයට ලක් කිරීම නිසා.

පතුල: දූෂණ සිදුවීම වුනේ ඔබගේ ගමේ ද? නෑ. මගේ ගමේ නෙමෙයි. මේක සිදු වුනේ Busi dong ගමේ.  මගේ ගම Kounghi boung. මගේ ගමේ ඉදල කිලෝමීටර්   100 ක් විතර ඈතින් ඒ ගම තියෙන්නෙ.

පතුල: ඔබගේ ගමට භීෂණය පැමිණෙන්න කොච්චර කල් ගියාද?
හසන්:දවස් 2 ක් 3 ක් ඇතුළත බොහෝ කරදර ගමට ආවා.

පතුල: විශේෂ කරදර මොනවද වුනේ?

හසන්:ජූලි මාසයේ රම්සාන් තිබුණා. සාමාන්‍යයෙන් රාමසාන්වලට කලින්  අපි යනව රම්සාන් ඇවිත් ඇති බව අනිත් ගම්වලට දන්වන්න. ඒ යන අතරෙ ගමක කණ්ඩායමක්  අ‍පේ මිනිස්සු 8 දෙනෙක් සමග බස් එකට පහර දී පිච්චුව. ඒ බස් එකේ ඩ්‍රයිවර් බුද්ධාගමේ. එයත් පිච්චුව. ඒ අපේ අය ආරක්ෂා කරන්න ආපු නිසා.

පතුල: මුස්ලිම් ගම් හා බෞද්ධ ගම් වෙන වෙනමද තිබුනෙ?

හසන්:නෑ. මගේ ගමේ බුද්ධාගමේ කට්ටිය හිටියා. අපේ ගමේ චෙයාර්මනුත් බුද්ධාගමේ. අපි චෙයාර්මන් පත් කර ගෙන තිබුනෙ අපේම කැමැත්තෙන්. එයා හොඳ මානුෂික ගති තියෙන එක්කෙනෙක්. එයාට කවුරුත් ගරු කළා. අපේ කොමියුනිටි සහ බුද්ධාගමේ කොමියුනිටි එක එකට තමයි ඉන්නෙ. සමහර විට බුද්ධාගමේ කට්ටිය වැඩියි. සමහර විට අපේ අය වැඩියි.

පතුල:  බුද්ධාගමේ කට්ටිය ඔබලව ආරක්ෂා කලේ නැද්ද?

හසන්:බුද්ධාගමේ කට්ටිය ආවා මේ බස් එක පුච්චන්න. මුස්ලිම් අය ආරක්ෂා කරන්න ගියොත් බුද්ධාගමේ අයටත් ප්‍රශ්න ඇති වෙනවා
පතුල: ඔබට කොහොමද මේ සිද්දිය බලපෑවෙ.

හසන්:මම ටිකක් ගමට ඈතින් හිටියෙ රස්සාවට ගිහින්. මම රස්සාව කරන තැන නැවතිලා රාමසාන් පටන් අරන්ගෙන තිබුන  නිසා මම හිටියෙ වෙන තැනක. මට මගේ අම්මා, තාත්තා හිටිය සහෝදරවරු 5 කුයි එක්  සහෝදරියකුයි හිටිය.  මම එනකොට ඒය අය මරල ගෙදර  ගිණි තියල තිබුනා.  මම ආපහු දිව්ව මගේ ජීවිතේ බේරගන්න. ඒ වෙනකොට මුළු ගමට ම ගිනි තියල තිබුණා. චෙයාමන්ගෙ ගෙදරයි, එක ආමි ඔෆිසර් කෙනෙක්ගෙ ගෙදරයි විතරයි ඉතුරු වෙලා තිබුනේ.

ගිනිගත් රෝහින්ගා ගෙයක්

ගිනිගත් රෝහින්ගා ගෙයක්

පතුල: අනිත් ගම්වලටත් කරදර පැමිණියද,
හසන්:අපිට විතරක් නෙමෙයි ගැහැව්වෙ. අනිත් ගම්මානවලටත් ගැහැව්ව. ගම්වල අය කලින් රජය එක්ක ප්‍රශ්න ඇති කරගෙන තිබුණා. එයාල රජය විවේචනය කරමිනුයි හිටියෙ. ඒ හින්ද ගම්මාන විනාශ කළා.

පතුල:ඒක වුනේ කොහොමද?

හසන්: රජය ඇඳිරි නීතිය දානව දවල්ට.  මිනිස්සු එළියට බහින්නෙ නෑ ඒ හින්ද. හරිම සාමකාමීයි දවල්ට. රජයත්  දවල්ට නිහඩඬව ඉන්නවව. ඊට අමතරව ගම්වල ගරුකටයුතු අය හොයල ඒ අය එක්ක ගෙන ගිහින් ආරක්ෂා කරනව. රෑට ඇවිත් ගම විනාශ කරනව. ඕක තමයි සිද්ධ වුනේ

පතුල:ඊට පස්සෙ ඔබ මොකද කලේ?

හසන්: මම  ගමට එනකොට මිනිස්සු හිටියෙ ටෙන්ට්වල. මිනිස්සු කිව්ව මට ආපහු යන්න කියලා. ඒ ගොල්ලො කිව්ව මගේ පවුලෙ මම විතරක් ඉතුරු නිසා යන්න කියල. මම ජීවිතේ බේරගන්න රටින් පිට වෙන්න තීන්දු කළා.

පතුල:ඔබ ගමෙන් පිටවුනේ කොහොමද?

හසන්: ම ම කෙලින්ම ගියේ නෑ ගමේන් එලියට. පොඩි ගඟක් තියෙනව. මම එතනට ආවා. ඒ ගඟේ බංගලි ජාතිකයෙකුගේ බෝට්ටුවක් තිබුණා. ඒ බෝට්ටුවේ එක්කෙනා අපිව එක්ක ගෙන ගියා Taknap පොයින්ට්  එකට. එයා අපෙන් මුදල් ගත්තෙ නෑ.
මම එනකොට ලොකු ගග පහුකලා. එහේ මගේ කට්ටිය ගොඩක් හිටිය. එතකොට වෙලාව 5 ට විතර ඇති. මම දැක්ක ගොඩක් සිකියුරිටි ඉන්නව. බෝට්ටුවෙ එක්කෙනා අපිව එයාගෙ ගෙදරට එක්ක ගෙන ගියා. එතකොට පෙනුනා මගේ ගම පැත්තෙ ගොඩක් දුම් යනවා.

පලා යන රෝහින්ගා වැසියන්

පතුල:ඊට පස්සෙ මොකද වුනේ?

හසන්:ඒ වෙනකොට කී දෙනෙක් මැරිලා තියෙනවද කී දෙනෙක් අවතැන්වෙලා තියෙනද කියල අපි හරියට දැන ගෙන හිටියෙ නෑ. ඒ වුනාට බංගලිදේශයේ නිව්ස් වලට කිව්වා ඒ වෙනකොට 50 000ක් විතර  මැරිලා කියලා. මම හිතනව ඊට වැඩි කියල. මොකද අපි එනකොට පහු කරපු පොඩි ගඟ සම්පූර්ණයෙන්ම වතුර රතුපාට වෙලා තිබුනෙ. ඒ අපේ අය මරල ගඟට දාලා නිසයි. ඇත්තටම ඒක ලේ ගඟක්. 60 000 ක්වත්  මැරෙන්න ඇති කියල මම හිතනව.

පතුල:කොහොමද ඔයා බෝඩරේ පහුකලේ. ඊට පස්සෙ මොකද වුනේ?

හසන්:මම රෑ හිටියෙ බෝට්ටුවෙ එක්කෙනාගෙ ගෙදර. මට බංග්ලාදේශයේ  ජීවත් වෙන්න එහේ මුදල් ඕන වුනා. ගමට කරදරයක් කියල ආරංචි වුන වෙලාවෙ වැඩපොලෙන් එනකොට මම සල්ලි අරන් ආව. ඒ සල්ලි මා ළඟ  තිබුණා. කෙට් 50 000 ක්. ඒවා මාරු කලාම මට හම්බ වුනේ ටකා 2500 යි. ඒ වෙලාවෙ ටකා  1 ක් ගන්න කෙට් 20 ක් දෙන්න ඕනි. ඒ තමයි බෝඩරෙන් චෙන්ජ් කර ගන්න පුළුවන් වුන ගාන. මම පහුවදා ගියා අපේ අය ඉන්න බංග්ලාදේශයේ තියෙන කෑම්ප් එකකට.  ඉතින් එහේ  හිටිය අපේ අය කිව්ව ඔයාට මේක හරියන්නෙ නෑ. ලඟ ටවුන් එකක් තියෙනව. ඒකට ගිහින් රස්සාවක් කරන්න කියල.  මම කිලෝමීටර් 1. 5 විතර පයින් ගිහිල්ලා බස් එකක නැගලා ගියා Cox.s bazar වලට.  මම ඒ නගරෙ ප්ලම්බර් කෙනෙක් හැටියට දවස් 15 ක් රස්සාව  කලා.

එහේදි මට ඉන්දියානු  ජාතිකයෙක් මුණ ගැහුණ.  ඔහු කිව්ව ඉන්දියාවෙ ආරක්ෂාව හොදයි කියලා. ඊට පස්සෙ මම ගියා ඉන්දියානු බෝඩරයට. එහිදී මම එක්කෙනෙකුට කිව්ව ඉන්දියානු බෝඩරය පහු කරන්න ඕනි කියල. ඉදා රාමසාන් දවසට කලින් දවස. මට කිව්ව රාමසාන් දවසෙ අනිත් මුස්ලිම් අය වගේ බෝඩරය පහු කරන්න කියල.

මම ඉන්දියාවට ආවා සිල්ලුඩි වලට. (රාමසාන් දිනයේදී මුස්ලිම්වරුන් බොහෝ පිරිසක් බංග්ලාදේශ ඉන්දියානු බෝඩරය හරහා ගමන් කරන දිනයක්). සිල්ලුඩි වලදි  මගේ සල්ලි මාරු කරලා ඉන්දියා රුපියල් 2500 ක් ගත්තා.. මම දෙමල කඩේකින් කෑව. ඒ කන අතරෙදි මගේ ප්‍රශ්නය කඩේ මුදලාලිත් එක්ක කිව්ව. එයා කිව්ව කොහොම හරි නේපාලෙට යන්න එහි හොදයි කියල.

පතුල:ඔබ නේපාලයට පැමිණීමේදී ඉන්දියානු බෝඩරය පහුකලේ කොහොමද?
හසන්: මම දන්නෙ නෑ ඒ බෝඩරයේ නම මොකක්ද කියල. කොහොම වුනත් ඒ බෝඩරය ළඟ භූතානි කෑම්ප් එකක් තිබුණා.
2012 ජූලි 20 පිටත් වුන  මම 2012  අගෝස්තු 28 නේපාලයේ UNHCR එකට ආවා.

පතුල: UNHCR එකෙන් ඔබ සරණාගතයෙක් විදිහට බාර ගත්තද? ඔබට කිසිදු ලියවිල්ලක් තිබුනේ නෑ නේද?
හසන්:මට ඇවිත් දින 52 ඇතුළත රිෆියුජි කාඩ් එක හම්බ වුනා. එලවුන්ස් එක හම්බ වෙන්නත් එක්ක දින 70 ක් ගියා.

පතුල: එතකන් ඔබ ජීවත් වුනේ කොහොමද?
හසන්: මම UNHCR න් පල්ලියකට යොමු කළා. මම එහේ ගෙස්ට් හවුස් එකක හිටිය.
2

පතුල:ඔබට අවස්ථාව්ක ලැබුනොත් හමුවුනොත් අවුසාන්සුකී ට මොකක්ද කියන්නෙ.

හසන්:අපි රෝහින්ගලා හැටියට ඔයාට විතරක් නොවෙයි අපි ඔයාගෙ තාත්තාටත් උදව් කලා. අපේ දෙමව්පියන්ගෙ පින්තූර අපේ ගෙවල්වල එල්ලලා නෑ. ඔයාගෙයි ඔයාගෙ තාත්තගෙයි පින්තූර තමයි ගෙවල්වල එල්ලලා තිබුනෙ. ඔබ සිරභාරයේ සිටින කාලේ අපි හැම සිකුරාදාවටම දෙවියන් ඉදිරියේ යාඥා කලේ ඔයාට නිදහස හම්බ වෙන්න කියල. ඔබ නිදහස් වුන වෙලාවේ අපි ලොකු උත්සවයක් සමරල ඒ සතුට භුක්ති වින්දා. ඔයා එළියට ආවහම අපිටත් නිදහස හම්බ වෙයි කියල අපි හිතුව. ඔයාට වගේම අපටත් ඕනි ඩිමොක්ක්‍රසි. අපි හැමෝම ඔයාට තමයි ඡන්දය දුන්නෙ. ඔයාට ඒක බලන්න පුළුවන් පරණ රෙකෝඩ් වලින්. සුකී ඇයි ඔයා සයිලන්ස්. ඔයා අපට පුරවැසියො භාර ගන්නෙ නැත්නම්  අපට ලෑන්ඩ් එකක් දෙන්න අපි ඒක හදාගනනම්.
පතුල:අවසාන වශයෙන් මොකක්ද කියන්න තියෙන්නෙ.

හසන්:අපි රජයට උදව් කලා නම් අද අපිට මෙහෙම වෙන්නෙ නෑ. අප හසන්ගේ නම සහ ඡායාරූප පල කිරීමට ඔහුගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ‘මට නැතිවෙන්න දෙයක් නෑ. ඒ නිසා ඔයා කැමති ඕන එකක් කරන්න’

-සංවාදය:ජයම්පති බුලත්සිංහල/pathula-

mosque that burned during the riot in Meikhtila on March 22, 2013

mosque that burned during the riot in Meikhtila on March 22, 2013

Internal main mosque meikhtila

Internal main mosque meikhtila

riot in Meikhtila on March

riot in Meikhtila on March

No comments