නුතන බෞද්ධ අන්තවාදීන් බුදුරජාණන් වහන්සේටත් වඩා ඉදිරිගාමීද?
ශ්‍රී ලංකාව තුල ගව ඝාතණය තහනම් කර ගැනීම සඳහා දැන් චීවරධාරීන් රැසක් තමන්ගේ ජීවිත පුජා කිරීමට පවා සුදානමින් සිටින බව සිංහල රාවය අන්තවාදී සංවිධානය පවසයි. මේ අයගේ ට්‍රයි එක තමන් මැරෙනවා කියා බය කරමින් ගව ඝාතණය තහනම් කිරීමයි. මේ ගැන කල්පනා කරන විට මගේ හිත දිව ගියේ අතීතයේ බුදුරජාණන් වහන්සේගේ කාලය දෙසයි. ඇයි එකල බුදුරජාණන් වහන්සේ ගව ඝාතණය තහනම් කරන්නට කටයුතු නොකළේ?
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් අතර සිටියේ ධනවත් සිටුවරුන් පමණක් නොව රජවරුන් අමාත්‍යාදීන් සිටින ලදී. බුදුරජාණන් වහන්සේ විසින් කිසියම් විනය නීතියක් පැනවුයේ නම් ඔවුන් වහා එය සිය පාලන බලප්‍රදේශයන් තුල ක්‍රියාත්මක කරනු ඇති. හැරත් බුදුරජාණන් වහන්සේගේ සමකාලීන සාමයික ශාස්තෘවරයෙකු වු නිගන්ඨනාථ පුත්‍රගේ අනුගාමිකයන් බුදුන් වහන්සේට එල්ල කරන ලද චෝදනාව වුයේද ශ්‍රමණ ගෞතමයන් මැරූ සතුන්ගේ මස් වලඳ බවයි. (ත්‍රිපිටකය, මහවග්ගපාලි, භේසජ්ජඛන්දකය කියවන්න) මෙපමණ දරුණු චෝදනා ලැබු විට පවා බුදුරජාණන් වහන්සේ තම අනුගාමිකයන් නිර්මාංශික වීමට නොපෙලඹවීය. උන්වහන්සේ වදාලේ ත්‍රිකෝටි පරිශුද්ධියට අනුකූල මස් වැලඳිය හැකි බවයි. එමෙන්ම බුදුන් වහන්සේද මාංශ වැලඳු බවට ත්‍රිපිටකයේ සාක්ෂි ඇත.
එසේ නම් වත්මන් බෞද්ධ අන්තවාදී සංවිධාන විසින් ලංකාව තුල ගවඝාතණය තහනම් කරමින් බලාපොරොත්තු වන බුදු දහමෙහි අභිවෘද්ධිය කුමක්ද? ඔවුන් බුදුන් වහන්සේටද වඩා පෙරටුගාමී බව පෙන්වීමද? ලංකාව තුල ගව ඝාතණය කිරීම තහනම් කිරීමෙන් බුදු දහමට වෙන සෙත කුමක්ද? බෞද්ධයන්ට වන සෙත කුමක්ද? මේ සම්බන්ධව බෞද්ධ සමාජය තුල බුද්ධිමය සංවාදයක් නොවන්නේ ඇයි? මගේ අදහස නම් මාංශ අනුභවය සම්බන්ධව පලමුව බෞද්ධ සමාජය තුල බුද්ධිමය සංවාදයක් ඇතිවී එමගින් මාංශ අනුභවය සම්බන්ධව බෞද්ධ සමාජය තුල පොදු මතයක් බිහිවිය යුතු බවයි. මන්ද අද බෞද්ධ ධර්මදේශකයන් පවසන්නේ එකිනෙකට පටහැනි බණයි. කෙනෙක් බුදුරජාණන් වහන්සේ කිසිදු මසක් නොවැලඳු බව දෙසයි. තවත් අයෙක් බුදුන් වහන්සේ ත්‍රිකෝටි පරිශුද්ධියට අනුකූල මස් වැලඳීම අනුමත කළ බව දෙසයි. අප මේ දෙකින් කුමක් පිළිගන්නද?
තමන් ගව ඝාතණයට එරෙහිව සියදිවි නසාගන්නවා යැයි අන්තවාදී චීවරධාරීන් විසින් තර්ජනය කරන්නේ ඔවුන්ගේ ජීවිත ගවයන්ටත් වඩා නොවටිනා බැව් සිතෙන නිසා නම් එය අපට ප්‍රශ්නයක් නැත. නමුත් තමන්ගේ ජීවිත නැතිකර ගන්නවා යැයි තර්ජනය කරන අයවළුන් පොලීසිය විසින් අත්අඩංගුවට නොගන්නේ මන්ද? ගවඝාතණයට විරුද්ධව යැයි පවසමින් ඇරඹු පාගමන ආරම්භයේදීම තංගල්ල මස් වෙලඳසැලකට පහරදී තිබියදීත් තවදුරටත් ඔවුන්ට පාගමනේ යෙදීමට ඉඩදී සිටියේ මන්ද? පහරදීම අභියස චීවරධාරීන් සිටිනු වීඩියෝ දර්ශන මගින් සනාථ වී තිබියදීත් ඔවුන් අත්අඩංගුවට නොගන්නේ මන්ද? මෙම පාගමනට බලධාරීන්ගේ සහ පොලීසියේ දැඩි සහයෝගයක් තිබුණු බව මේ වන විටත් මැදහත් සැමට සනාථ වී අවසන්ය.
ඉස්ලාමය හිංසාව අනුමත කළ දහමක් බවද බුදු දහම හිංසාව අනුමත නොකළ දහමක් බවද පවසමින් මාහා අන්තර්ජාල සංවාදයකට එළඹි අයෙකු එයට සාක්ෂි වශයෙන් දැක්වුයේ පංච ශීලයේ පාණාතිපාතා සිඛ පදයයි. මා ඔහුගෙන් පෙරලා විමසුයේ පාණාතිපාතා සිඛ පදය අඩංගු බෞද්ධ මුලාශ්‍ර ග්‍රන්ථය කුමක්ද? යන්න පවසන ලෙසයි. එයට පිළිතුරු දී ගත නොහී දැන් ඔහු වැල්වටාරම් පවසමින් කාලය නාස්ති කරයි. බෞද්ධ ජනතාව පලමුව බුදු දහම යනු කුමක්ද? එහි ඇතිදේ සහ නැතිදේ කුමක්ද? යන්න පලමුව වටහා ගත යුතුය. එසේ නොමැතිව අන්‍ය භක්තිකයන් පෙලමින් දහමෙහි අභිවෘද්ධියක් බලාපොරොත්තු වෙනවා නම් එය මිරිඟුවක් පමණක් බව වටහා ගත යුතුය.
Post Comment
No comments