මුස්ලිම් විරෝධී ආර්ථික ඝාතකයෝ
ගාමිණී වියන්ගොඩ
ඉස්ලාම් අන්තවාදියකු වූ සහරාන් එල්ලකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුවී මේ වනවිට මාස දෙකක කාලයක් ඉකුත්ව ගොසිනි. එහෙත් එම බෝම්බ ප්‍රහාරයේ පසුකම්පන තවමත් අප සමාජය තුළ හටගනිමින් තිබේ. ඒ ජාතිවාදී, ආගම්වාදී අන්තවාදයයි. සහරාන් තම ප්‍රහාරය සිදුකොට ශ්‍රී ලාංකීය ඉස්ලාම් භක්තිකයන් වෙත ලබා දුන් විමුක්තියක් නැත. එමගින් මෙරට ඉස්ලාම් භක්තිකයන්ට අනාරක්ෂාව පමණක් ළඟාකර දුනි. ඒ බව ඉස්ලාම් නායකයන් පැහැදිලිව ප්‍රකාශ කර තිබේ.
අපේ රටේ ජාතික ආරක්ෂක පද්ධතියේ කොතරම් සිදුරු තිබුණේදැයි සහරාන්ගේ ප්‍රහාරයත් සමඟ පැහැදිලිව පෙනුණු කාරණයකි. ලොව ප්‍රබල රටවලට නොදෙවෙනි බුද්ධි අංශ පද්ධතියක් ශ්‍රී ලංකාව සතු වුවද එම බුද්ධිඅංශවල සාර්ථකත්වයට නිසි වටිනාකමක් ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව අපොහොසත් වූ බව පිළිගත යුතු කරුණකි. මෛත්‍රී - රනිල් අතර පවතින දේශපාලන විරසකයේ එක් ප්‍රති විපාකයක් වශයෙන් ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ ගිනි දලුවලට අප රට ආක්‍රමණය කිරීමට හැකියාව ලැබුණි. එයින් වසර තිහකට පසු රට තුළ ඇති කරගත් ජාතික, ආගමික සහයෝගිතාවට බරපතළ ලෙස හානි සිදුවිය.
යුතුකම් හා වගකීම්
ත්‍රස්තවාදයට ජාතියක්, ආගමක් නැත. එහෙත් ත්‍රස්තවාදය ආරම්භ කිරීමටත් එය පවත්වාගෙන යාමටත් ජාතික හා ආගමික බව සම්බන්ධ කර ගනු ඇත. රටක පවතින දේශපාලන හෝ සමාජීය අසමගිය ත්‍රස්තවාදීන්ට තම අරමුණු වෙත යාමට කදිම තෝතැන්නකි. රටේ අනාරක්ෂාව ත්‍රස්තවාදයට ආරක්ෂාවකි. ඒ බවට අප රට තුළ වර්තමානයේ පවතින රාජ්‍ය අසමගිය හා දේශපාලන බෙදුම්වාදය කරුණු සපයයි.
අගමැති රනිල් ඇතුළු කණ්ඩායම ආරක්ෂක කවුන්සලයට සම්බන්ධකර ගැනීම ජාතික ආරක්ෂාවට වැදගත් නොවන බව ජනාධිපතිතුමාගේ අදහසය. තමාට ආරාධනා නොකිරීම නිසා ආරක්ෂක කවුන්සලයට යායුතු නැති බව අගමැතිතුමාගේ අදහසය. මේ දෙදෙනාගේම ක්‍රියාකාරීත්වයෙන් තේරුම්ගත හැක්කේ ඔවුනොවුන් තම යුතුකම් හා වගකීම් හිතාමතා පැහැරහැර තිබෙන බවය. දේශපාලන මත කුමක් වුවද, පෞද්ගලික මත කුමක් වුවද රටේ සේනාධිපතිවරයාගේ වගකීම රටේත්, ජනතාවගේත් ආරක්ෂාව තහවුරු කිරීමය. ඒ වෙනුවෙන් පවතින රජය සමඟ එක්ව කටයුතු කළ යුතුය. තම පෞද්ගලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා රටේ ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් කටයුතු නොකළ යුතුය.
ජනාධිපතිවරයා විසින් තමා ආරක්ෂක කවුන්සලයට සහභාගී කර නොගැනීමෙන් රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ තමන් නොදැනුවත්වන බව අගමැතිතුමා වටහාගත යුතු කරුණකි. අගමැතිවරයා වශයෙන් තමන් දැනුවත් නොකිරීම සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග කිසිවක් නැත. ඔහු නිහඬව බලා සිටියේය. ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ එම ක්‍රියාව දේශපාලන විද්‍යාවේ දී පිළිගැනෙන්නේ සෘණාත්මකවාදී ආකල්ප වශයෙනි. රටේ ප්‍රධාන පාලකයන් දෙපළගේ ආකල්පවල එක් අරමුණක් නොතිබෙන නිසා විරුද්ධ දේශපාලනඥයන් තම අරමුණු ඉටුකර ගැනීම සඳහා එය අවස්ථාවක් කරගනී. එමගින් රට දේශපාලන, ආර්ථික හා සමාජීය පිරිහීමක් වෙත ඇදීයාම සිදු වේ. මේ වන විට රට තුළ සිදුවී ඇත්තේ එම තත්ත්වය යි. එය ඉතා භයානකය. මෙවැනි අවස්ථා හමුවේ රටේ ආරක්ෂාවට විශාල තර්ජනයක් ඇතිවේ.
ප්‍රහාරය සිදුවී දින ගණනක් යනතෙක්ම රටේ වගකිවයුතු පුද්ගලයෝ එකිනෙකාට ඇඟිල්ල දිගු කරගැනීමේ ක්‍රීඩාවේ නිරත වූහ. ඔවුන්ගේ අසමගිය නිසා එතෙක් දේශපාලන වශයෙන් අනාථව සිටි විරුද්ධ පක්ෂයට ආණ්ඩුවට දැඩි ප්‍රහාර එල්ල කිරීමට හැකි විය. ආණ්ඩුව අස්ථාවර කිරීමේ ඉලක්කය සඳහා ඔවුහු ක්‍රියාත්මක වූහ. ඒ සඳහා සහරාන්ගේ ක්‍රියාව මුල්කරගෙන ආගමික අන්තවාදයක් නිර්මාණය කරන්නට වූහ. ඔවුහු ත්‍රස්තවාදයට ආගමක් ලබා දීමට කටයුතු කළහ. ඒ අනුව එක් සහරාන් කෙනෙක් වෙනුවට සමස්ත ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාවම සහරාන්ලා බවට පරිවර්තනය කිරීමට විපක්ෂයේ ඇතැම් අන්තවාදී කණ්ඩායම් ක්‍රියාත්මක වූහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් සහරාන්ගේ ප්‍රහාරයෙන් සති කිහිපයකට පසුව ජාතික හා ආගමික සංහිඳියාව හිටි හැටියේ පිපිරීමට ලක් විය. සහරාන්ලාට විරුද්ධව ආරක්ෂක අංශවලට සහයෝගය දුන් මුස්ලිම්වරුන් සිංහලයන්ගේ සතුරා බවට පත්විය යුතුයැයි මතයක් ගොඩනැඟීමට විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් ක්‍රියා කළහ. ඒ අනුව ප්‍රදේශ කීපයක මුස්ලිම් වෙළෙඳ සල් විනාශ කර මෙරට ආගමික යුද්ධයක් නිර්මාණය කර එයින් ගිලිහී ගිය තම දේශපාලන බලය නැවත අත්පත් කර ගැනීමට උත්සාහ කළහ. රට තුළ ගැටුම් ඇතිකර ජාතික ආරක්ෂාවට තර්ජනයක් සිදුකිරීමට වෙරදරන පටු දේශපාලන අරමුණුවලින් කණ්ඩායම්වලට යුතු එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වී ඇත. එම තත්ත්වයෙන් තව තවත් ප්‍රයෝජන ගන්නා අන්තවාදී දේශපාලනඥයන් බලය ලබා ගැනීම වෙනුවෙන් ඕනෑම ක්‍රියාවක් කිරීමට වෙහෙසෙන ආකාරය පෙනී යයි.
නීතියේ සිදුරු
ජාතීන් අතර විරසකභාවය ඇතිකරන, ආගම්වාදය වර්ධනය කරන කඩාකප්පල්කාරීන් රටේ පවතින නීතිය අනුව අයි.සී.සී.පී.ආර්. පනතට යටත්ව අත්අඩංගුවට ගත යුතුව තිබුණ ද පොලිසිය කටයුතු කළේ රටේ සාමාන්‍ය නීතිය යටතේ ඔවුන් අත්අඩංගුවට ගැනීමටය. මීට මාස තුනකට පෙර එහෙත් ලේඛකයකු රචනා කළ කෙටි කතාවක් පදනම් කරගෙන ඔහු ජාතික ආරක්ෂාවට තර්ජනයකැයි අයි.සී.සී.පී.ආර් පනත යටතේ අත්අඩංගුවට ගැනීමට මෙම පොලිසිය ක්‍රියාකර ඇත. මෙවැනි හේතු හමුවේ රජය අපකීර්තියට පත්වන අතර රජයේ නීති පද්ධතිය ගැන ජනතාව කලකිරීමට පත් නොවේ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ සිරගත වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපතිතුමා විසින් විශේෂ සමාවක් දීම ද අධිකරණ තීන්දු හෑල්ලුවට ලක්කිරීමකි. එසේම එය මෙරටේ ආගමික අන්තවාදීන්ට හා ජාතිවාදීන්ට ලැබුණු විශාල වරදානයක් ලෙස ද සිතිය හැකිය. වර්ධනය වූ ගැටලුකාරී තත්ත්වය රතන හිමි අවසානයේ තම මාරාන්තික උපවාසයට උපයෝගී කරගන්නා ලදී. මේ අනුව බලනවිට සහරාන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හා රතන හිමිගේ උපවාසය යන දෙකෙන්ම සිදුවූයේ අන්තවාදී ක්‍රියාවකි. දෙදෙනාම කළේ සමාජය බිය ගන්වා තමන්ගේ අභිප්‍රාය ඉටුකර ගැනීමට උත්සාහයකි. වෙනසකට ඇත්තේ සහරාන්ගේ බෝම්බ පිපිරීමෙන් 250කට අධික සංඛ්‍යාවක් ඝාතනය වූ අතර රතනහිමිගේ ක්‍රියාවෙන් ඒ ආකාරයෙන් මිනිස් ඝාතන සිදු නොවූවත් එලෙස ඝාතනය වීමේ ඉඩකඩ ඇති වීමය.
සහරාන්ගේ මාරාන්තික ප්‍රහාරයෙන් එක් දෙයක් ඔප්පු වී තිබේ. එනම් අපි එක්සත් රාජ්‍යයක් වශයෙන් කොතරම් දුර්වල මට්ටමක සිටිනවාද යන්නය. විශේෂයෙන් විපක්ෂය ජාතික සංහිඳියාව ගැන කතා කළ ද එය ක්‍රියාවට නැංවීමට අපොහොසත් බවය. අන්තවාදීන්ට ඕනෑම අවස්ථාවක තම අරමුණුවලට යාමට හැකියාව තිබෙන බව පසුගිය දිනවල සිදුවූ ක්‍රියා විසින් ඔප්පුකර පෙන්වා තිබේ. එවැනි සිදුවීම්වලට ආණ්ඩුව දැඩිව මුහුණ දිය යුතු ය. දැඩි තීන්දු ගත යුතු ය. ඒ අනුව ජාතික ආරක්ෂාව බිඳ දැමීමට කටයුතු කරමින් අන්තවාදී ක්‍රියා සමාජය තුළ ස්ථාපනය කරන ඕනෑම කෙනකුට අයි.සී.සී.පී.ආර්. පනත යටතේ ක්‍රියා කළ යුතු වේ. සහරාන්ගේ ප්‍රහාරය අන්තර්ජාතික ත්‍රස්තවාදී සංවිධානයක් සමග ඒකාබද්ධව කළ ක්‍රියාවකි. එවැනි ක්‍රියා රජයේ කුමක් හෝ අතපසුවීමක් යටතේ සිදුවුවද ජාතියක් වශයෙන් ශ්‍රී ලංකාවේ සියලු දෙනා සිය ආරක්ෂාව සුරක්ෂිත කරගැනීම සඳහා එක් ස්ථාවරයකට පැමිණිය යුතු ය. විශේෂයෙන් දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වලට එහි වගකීම වැඩි වශයෙන් පවතී. දේශපාලන පක්ෂ හා කණ්ඩායම් වටා ජනතාව එක්රොක් වී සිටීම එයට හේතුවය.
පාස්කු ප්‍රහාරය හමුවේ අප රටේ දේශපාලනඥයන්ගේ හැසිරීම ඉතා ඛේදජනකය. බොරදියේ මාළු බෑමට ඇතැම් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් ක්‍රියාකළ ආකාරය බුද්ධිමත් සහ නිදහස් මතධාරී සමාජය පිළිකුල් සහගතව හෙළා දකිනු ඇත. එවැනි අවස්ථාවක තම දේශපාලන අරමුණුවලට යාම වෙනුවට පොදු එකඟතාවයකට අනුව ක්‍රියා කිරීම වඩාත් පලදායකය. සිහිබුද්ධියෙන් කටයුතු කරන, ආගමික හා ජාතිවාදී බලවේගවලට යටත්නොවන දේශපාලන නායකත්වයක් රටට අවශ්‍ය ය. ජාතිවාද, ආගම්වාද පෙරටු කරගත් දේශපාලන අන්තවාදීන් බලයට පත්වුවහොත් රට තුළ සංහිඳියාව වෙනුවට බෙදුම්වාදය පෙරට එනු ඇත. රටක් වශයෙන් ඉදිරියට යාමට ජාතීන් අතර සංහිඳියාව අත්‍යාවශ්‍යය. රටේ සංහිඳියාවට විරුද්ධ ත්‍රස්තවාදීන් පමණි. මක්නිසාදයත් ඔවුන්ට ජය ගත හැක්කේ සමාජය බෙදීමට ලක්වූ විට බැවිනි. එහි හිඩැස්වලින් ඔවුන්ගේ අරමුණුවලට යා හැකි බැවිනි.
වෙළෙද මාෆියාව
රටක සංවර්ධනයට දේශපාලන, ආර්ථික හා සමාජ ස්ථාවරභාවය ලොකු පිටිවහලක් වේ. වසර තිහක යුද්ධය නිමාවීමත් සමඟ අපි එවැනි මාවතක් නිර්මාණය කරගනිමින් සිටියෙමු. 2015 දී වත්මන් රජය බලයට පත්වීමත් සමඟ ඒ තත්ත්වය වර්ධනය වූ ආකාරයක් පෙනෙන්නට තිබුණි. පසුගිය අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු එම මාවතට බාධක අභියෝග රැසක් එල්ල විය. දේශපාලන, ආර්ථික හා සමාජීය වශයෙන් බාධක රැසක් පැමිණෙන්නට පටන් ගත්තේය. විශේෂයෙන් ආර්ථිකයට මරුපහරක් කැඳවමින් සංචාරක කර්මාන්තය හා ව්‍යාපාර ක්ෂේත්‍රය දරුණු ලෙස කඩා වැටුණි. ඒ සඳහා විපක්ෂ දේශපාලනඥයන්ගේ ඇතැම් ක්‍රියා හා ප්‍රකාශ බෙහෙවින් බලපෑ අතර ඊට මුහුණ දීමේදී රජය විසින් අනුගමනය කරන ලද්දේ මන්දගාමී පිළිවෙතක් වීම විමතියට කරුණකි.
ලංකාවේ ආර්ථික දියණුව සහ ස්ථාවරත්වය වෙනුවෙන් වෙළෙඳ ප්‍රජාව සුවිශේෂී කර්තව්‍යයක් ඉටු කරති. එහෙත් සහරාන්ගේ ප්‍රහාරයට පළිගැනීමක් ලෙස ඇතැම් අන්තවාදී කණ්ඩායම් මුස්ලිම් ව්‍යාපාර සමඟ ගනුදෙනු කිරීම වර්ජනය කිරීමට ජනතාව පොළඹවති. මෙය පිටුපස වෙළෙඳ මාෆියාවක් පවතින බව පැහැදිලිය. මුස්ලිම් වෙළෙඳ සල්වලින් බඩු භාණ්ඩ මිලදී ගැනීමෙන් වැළකී සිටීමට සිංහල, දෙමළ ජනතාව වගබලා ගත්තද සිංහල, දෙමළ ව්‍යාපාරිකයන් බහුතරය තම ව්‍යාපාර සඳහා අවශ්‍ය බඩු භාණ්ඩ මුස්ලිම් තොග වෙළෙඳ සල්වලින් ලබා ගැනීම නතර නොකරති. එය සාමාන්‍ය ජනතාව නොදන්නා රහසකි. ඒ අනුව බලනවිට මුස්ලිම් වෙළෙඳ සල් වර්ජනය කිරීම අර්ථශූන්‍ය ක්‍රියාවකි.
වෙන්වීමෙන් කොන්වීම්
අපේ රටේ ආර්ථිකය සිංහල, දෙමළ, මුස්ලිම් වශයෙන් වෙන්වූවක් නොවේ. ලොව කොතනකවත් එවැනි ආර්ථිකයක් ඇත්තේ ද නැත. අමෙරිකාවේ ආර්ථිකය ක්‍රිස්තියානි නොවේ. අරාබි රටවල ආර්ථිකය මුස්ලිම් නොවේ. ආර්ථිකය තුළ ඇත්තේ මිශ්‍රණයකි. ලොව ජීවත්වන සියලුම ජාතීන්, ආගම් ඒ ඒ රටවල ආර්ථිකය ශක්තිමත් කරති. රුපියල, සිංහල, දෙමළ හා මුස්ලිම් කියා වෙනස් වන්නේ නැත. එය ලංකාවේ පොදු මූල්‍ය ඒකකය වේ. ඩොලරය ක්‍රිස්තියානි ආගමට පමණක් සීමා වී නැත. එය ලොව ප්‍රධාන පෙළේ මුල්‍ය ඒකකයකි.
බහු ජාතික බහු ආගමික රටක් වශයෙන් ගත්කල ශ්‍රී ලංකාව ආර්ථිකයේ මිනුම් දණ්ඩ වන්නේ රුපියල් ය. සිංහල, දෙමළ, මුස්ලිම් සැමටම රුපියල පොදුය. මේ සියලු දෙනාම එය රැකගැනීමට දායක වේ. අප රටේ ආර්ථිකය වර්ධනය කිරීම එක් ජාතියකට පමණක් සිදුකළ නොහැක. සියලු ජාතීන් එයට එක්විය යුතුය. එවැනි තත්ත්වයක් හමුවේ මුස්ලිම් වෙළෙඳ ව්‍යාපාර වර්ජනය කිරීමෙන් අපේක්ෂා කරන්නේ කුමක්දැයි අපැහැදිලිය. ආර්ථික විද්‍යාව පිළිබඳ අවබෝධයක් නැති පිරිසක් මෙහි පසුපස සිටින බව පැහැදිලිය. ලංකාවේ මුස්ලිම් වෙළෙඳාම වර්ජනය කරන ඇතැම් සිංහලයන් මුස්ලිම්වරුන්ගේ මුදල් අපේක්ෂාවෙන් අරාබි රටවල රැකියාවේ නියැළෙති. සිංහල ව්‍යාපාරිකයන්ගේ බොහෝ නිෂ්පාදන අපනයන කටයුතු කිරීම මුස්ලිම් ව්‍යාපාර හරහා සිදු වෙන අතර ආනයන අංශයේ නියැළෙන්නන් අතර ද මුස්ලිම්වරු සිටිති. ව්‍යාපාර ක්ෂේත්‍රය චක්‍රයක් ලෙස ක්‍රියාත්මක වන්නකි. එය අංශ කීපයක සුසංයෝගයකින් සෑදුණ ක්‍රියාවලියකි. එම අංශ සිංහල, දෙමළ, මුස්ලිම් කියා වෙන්කොට නැති අතර ඒ ඒ අංශවලට දක්ෂයන් එහි ක්‍රියාත්මක වෙති.
ව්‍යාපාර ක්ෂේත්‍රයේ යථාර්ථය තේරුම් නොගත් පුද්ගලයන්ගේ මුග්ධ අන්තවාදී ක්‍රියාවන්ට දායකවීමෙන් “මුහුණත් සමඟ තරහ වී නහය කපාගන්නා” ක්‍රියාවන්ගෙන් මිදී සෑම දෙයක්ම යථාර්ථවාදීව සිතා කටයුතු කිරීම බුද්ධිමත් මිනිසකුගේ ලක්ෂණය වේ. රටක්, සමාජයක් දියුණු වීමට මිනිසුන් කොතෙක් සිටියත් ප්‍රමාණවත් නොවේ. අවශ්‍ය වන්නේ බුද්ධිමත්භාවයයි. බුද්ධිමත් මිනිසා යනු සිදු වූ වැරදි නිවැරදි කර ගනිමින් නිවැරදි දේ දිගුකල් පවත්වා ගැනීමට කටයුතු කරන්නෙකි. අප රටට අවශ්‍ය බුද්ධිමත් මිනිසුන්ය. එබැවින් අප බුද්ධිමත් වෙමු.
සටහන
නිශාන් මෙන්ඩිස්
නිශාන් මෙන්ඩිස්
Post Comment
No comments