Breaking News

අන්තවාදීන්ගේ ජනමනස විකෘති කිරීමේ නවතම උපක්‍රමය

Mindබෞද්ධ සමාජය තුල සිටිමින් රටතුල නැවත ජනවාර්ගික අර්බුධයක් නිර්මාණය කිරීම සඳහා කැස කවන අන්තවාදීන් පසුගිය කාලය තුල විවිධ වු උපක්‍රම භාවිතා කළද අවසානයේ ඔවුන්ට අත්වුයේ පරාජයයි. මේ නිසා ඔවුන් නැවත වෙනත් ක්‍රමවේදයකින් පැමිණෙන බැව් පෙනෙන්නට තිබේ. ඒ කථාමය ස්වරූපයෙන් සහ නාට්‍යමය ස්වරූපයෙනි. ඔවුන්ගේ මෙවර අරමුණ නිර්මානශීලී ක්‍රියාකාරකම් මගින් ජනමනස විකෘති කොට සමාජය කැලඹීමයි.

මේ සඳහා පාර්ශව කිහිපයක් වෙන වෙනම ක්‍රියාකාරී වන බවක් පෙනේ. එක්තරා අන්තවාදී කල්ලියක සිටි නායකයෙක් සිය කල්ලියෙන් බිඳී දැන් අනගාරික ධර්මපාල චරිතය චිත්‍රපටයකට නැගීමට උත්සාහ ගැනීම මෙහි එක් පියවරකි. අනගාරික ධර්මපාල තුමා එකල මුලිකව කටයුතු කලේ ජනතාව අතර දේශානුරාගය නංවා අධිරාජ්‍ය බලවේග වලට එරෙහිව බෞද්ධ ජනතාව මෙහෙයවීම වුවද මෙම චිත්‍රපටයෙන් කුළු ගන්වන්නට ඔවුන් උත්සාහ දරන්නේ ධර්මපාල චරිතය විසින් ශ්‍රී ලංකාවේ සුළුතර ජනකොටස් වන මුස්ලිම් සහ දෙමළ ජනතාව පිළිබඳව දැක්වු ආකල්පය පිළිබඳව ජනතාවට සිතන්නට පෙලඹවීමයි. මෙම අන්තවාදී කල්ලියේ අනෙක් පාර්ශවයද ධර්මපාල චරිතය යොදාගෙන විවිධවු ක්‍රියාකාරකම් කිරීමට ඉඩ ඇත්තේ එකිනෙකා පරයා ඉදිරියට ඒමේ අභිලාශය නිසාවෙනි.

තවත් ක්‍රමවේදයක් නම් අන්තවාදීන් විසින් මුස්ලිම් වරුන් අරබයා බෞද්ධ සමාජය තුල පතුරවා තිබෙන බොරු ඔවුන්ගේ සිත්වල සනාථ වන ආකාරයේ කෙටිකතා නිර්මාණය කර ඒවා අන්තර්ජාලයට මුදා හැරීමයි. මුස්ලිම් කෙනෙකු අළුත් ගෙයකට යනවිට එළුවෙකු මරා ලේ වැගිරවීම, සිංහල කාන්තාවන් දෙවැනි අඹුව කර ගැනීම වැනි බොරු ප්‍රලාප එම කෙටිකථා වලට ඇතුළු කොට ඒ බොරු ජනතාවගේ සිත්වල පැලපදියම් කිරීම ඔවුන්ගේ අරමුණයි. මේ වන විටත් මෙවැනි කෙටිකථා කිහිපයක් අන්තර්ජාලයට මුදාහැර තිබෙන අතර අන්තවාදීන් විසින් එම කථාවන් විවිධවු සමාජ ජාලයන් සහ බ්ලොග් අඩවි තුලින් බෙදාහැරීම කරනු ලබති.

ඇතැම් ජාතිවාදී පුවත් පත් සහ වෙබ්අඩවි තුල මුස්ලිම් වරුන් කෙරෙහි වෛරය ඇතිකරන පුවත් නිර්මාණය කර පලකිරීම තවත් උපක්‍රමයකි. බෞද්ධ දරුවන් මතට පුරුදු කිරීමට මුස්ලිම් අන්තවාදීන් බාබුල් සහ බීඩා වැනිදේ යොදා ගන්නා බවට ඔවුන් පුවතක් නිර්මානය කළ පසුව මා එයට පිළිතුරු දුන්නේ බෞද්ධ දරුවන් එවැනි ලෙස මතට වැඩියෙන්ම ඇබ්බැහි වන්නේ බාබුල් වලින් නොව සිංහල වෛද්‍යාචාර්ය වරුන් විසින් නිපදවන මදන මෝදක තුලින් බවයි. ඇත්තටම ලංකාවේ පිරිමි ළමුන් සිටින සෑම ප්‍රධාන පාසලක් අභියසම මදන මෝදක විකුණන සිල්ලර වෙලඳුන් සිටිති. නමුත් අන්තවාදීන් කොලේ වසා එමගින්ද ජාතිවාදය වැපිරීමට උත්සාහ දරති.

අද ලංකාවේ පවතින සෑම ජනමාධ්‍යයක් තුලම ජාතිවාදීන් ක්‍රියාකරන බව පෙනෙන්නට තිබෙන කරුණකි. එම ආයතන වල ප්‍රධානීන්ද මේ පිළිබඳව දන්නා නමුදු ඔවුන් එයට විරුද්ධව කිසිවක් නොකරන්නේ විවිධත්වයක් තිබීම ඔවුන්ගේ අලෙවිකරණයට වාසියක් වන නිසාවෙනි. මේ නිසා අන්තවාදී සංවිධාන විසින් ඉතාම සියුම් ලෙස එම ජනමාධ්‍ය ආයතන වල සිටින ස්වකීය නියෝජිතයන් ලවා කිසිදු වියදමකින් තොරව අන්තවාදය වැපිරීමට යත්ත දරති.   

www.anvermanatunga.com/2013/10/03/jana-manasa-wikurthi-kireema/#more-4513

No comments