‘අපි වෙනුවෙන් අපි ‘ – මුතාලිෆ් බිලිදී වසර අටයි
කොටි ත්‍රස්තයන් උන්ගේ ග්‍රහණයේ පැවති භූමිය තුලදීම භීතියටත් ත්‍රාසයටත් පත් කල යුධ හමුදා දුර දිග විහිදුම් බලකායේ ප්‍රබල පුරුකක් වූ මේජර් තුවාන් නිසාම් මුතාලිෆ් පොල්හේන්ගොඩ මංසන්ධියේදී කොටි වෙඩික්කරුවකුගේ වෙඩි පහරට ලක්ව මිය ගොස් වසර 8 ක් සපිරේ.
මුතාලිෆ් යුධ හමුදා බුද්ධි අංශය සතුව සිටි විශිෂ්ඨ වැඩකරුවෙකි.1966 ජුලි 11වෙනි දින දින උපත ලැබූ මුතාලිෆ් කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වූ අතර ඔහු , 1986 ජුනි 2දින ආධුනික කැඩෙට් නිලධාරියකු ලෙස යුද හමුදා සේවයට එක් වූයේය.දියතලාවේ පුහුණුව ලද මුතාලිෆ් මහතා අනතුරුව පකිස්ථානයේ ද පුහුණුවකට සහභාගි වී දෙවන ලුතිනන් වරයකු ලෙස නැවත මව් රටට පැමිණියේය.ඉන් පසු උතුරු නැගෙනහිර රාජකාරියට ගිය ඔහු එහි දැක්වූ විශිෂ්ඨ දස්කම් හේතුවෙන් යුධ හමුදා බුද්ධි ඒකකයට එක් විය.1992 දී කපිතාන් ධුරයට පත් වූ ඔහු වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බුද්ධි අංශයේ අණ දෙන නිලධාරියා ලෙසට ද පත් කෙරිණි.විශිෂ්ඨ හැකියාවන් පෙන්වූ නිසාම හේ බුද්ධි අංශය තුල නොමැකෙන සටහන් තැබීය.කොටි ත්‍රස්තයන් මේ හමුදා බුද්ධි අංශය නිර්මාණය කල දුර දිග විහිදුම් බලකායට අතිමහත් භීතියක් දැක්වීය.2002 සටන් විරාම ගිවිසුම තුල එක් වගන්තියක් ලෙස සටහන් කරමින් ආණ්ඩුව ලවාම මේ දුර දිග විහිදුම් බලකාය අඩපණ කරන්නට කොටින් ක්‍රියා කලේද එබැවිනි.ඒ වන විටත් කොටි ගුවන් බලකායේ ප්‍රධානිය වූ ශංකර් ,මුදුදු කොටි බලකායේ දෙවැනියා වූ කංගේ අමරන් මෙන්ම සන්නද්ධ බුද්ධි නායක චාර්ල්ස් වැනි ප්‍රබලයන් ඔවුන්ගේ පාලන ප්‍රදේශ තුලම වනසන්නට මේ බලකාය ඒ වන විට සමත්ව තිබිණ.
කොටින් මේ වාඩුව ගන්නට මාන බලමින් සිටියේය. විටින් විට තැනින් තැන බුද්ධි අංශ සාමාජිකයන් කොටි උණ්ඩයට බිලි විය.2005 වර්ෂයේ මැයි 31 වෙනි දින මුතාලිෆ් රණවිරුවා පොල්හේන්ගොඩ මංසන්ධියේදී කොටි වෙඩික්කරුවකුගේ වෙඩි පහරට ලක්ව මබ්විම වෙනුවෙන් තම දිවි පුදන්නේද එහි එක් දිගුවක් ලෙසය. පසුව වාර්ථා වූ පරිදි මුතාලිෆ් ඝාතනයට ආරක්ෂක හමුදා අභ්‍යන්තරයෙන් සහයක් ලැබී තිබී ඇති අතර තවමත් විභාග වෙමින් පවතින නීති කටයුතු අනුව වාර්ථා වන්නේ යුධ හමුදා මේජර්වරයෙකු වූ ඞී.එම්. දසනායක නැමත්තා විසින් මුතාලිෆ් පිළිබඳ රහස්‍ය තොරතුරු ලක්ෂ 15ක මුදලකට එල්ටීටීඊය වෙත ලබා දී ඇති බවයි.
මේ විශිෂ්ඨ රණවිරුවා සිහි කරන මොහොතේ අපට නැවත සිතා බැලීමට සුදුසු කරුණු කිහිපයක් මතකයට නැගේ.
බුද්ධි නිළධරීන් මහ මග මරා දැමීමට වාතාවරණය ඇති වූයේ කෙසේද?එවකට 2002 දී බලයට පත් වූ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව බලයට පත් වූ පළමු පැයේම කඩි මුඩියේ අත්සන් කල කුප්‍රකට සටන් විරාම ගිවිසුම හා ඉන් පසු සිදු වූ තත්වයන් පිළිබඳ උවමනාවටත් වඩා සාකච්චා කෙරී ඇත.නමුත් ඉන් අත්වූ අවාසිදායක වාතාවරණයන් අතර හමුදා බුද්ධි අංශ මුහුණ දුන් ඛේදවාචකය තවම මතකයේ ඇත්තේ කීයෙන් කී දෙනාටද?වේලුපිල්ලේ පිරභාහරන් නිතර පැවසූ පරිදි සිංහලයාට ඕනෑම දෙයක් මතක තියෙන්නේ සති දෙකක් පමණයි යන කියමන කොතෙක් නම් සාධාරණද. කුප්‍රකට උඩුගම්පොළ හෙළිදරව්වත් සමගම මිලේනිසම් සිටි නිවස්නේ පවත්වාගෙන ගිය බුද්ධි අංශ ඒකකය හෙළිදරව් විය.එවකට ආරක්ෂක අමාත්‍යවරයා වූ තිලක් මාරපනට අවසාන මොහොතේ එය වරදක් බව පිළිගැනීමට සිදු විය. (නමුත් අමතක නොකළ යුතු කාරණය නම් එදා එම වැටළීම සාධාර්ණය කරමින් ඉන් පසු සිදු වූ ආරක්ෂක බුද්ධි අංශ විනාස කිරීමට දායක වූවන් එම ස්ථාවරයේම තවමත් හිඳිමින් වත්මන් ආණ්ඩුවේ කැබිනට් ඇමතිකම්ද හොබවයි.මේ (ප)රාජිත ඇමතිවරුන් අදද බෙදුම්වාදී උවමනාවන් වෙනුවෙන් පෙනී සිටීම අත් හැර දමා නොමැත.) බුද්ධි අංශ හෙළිදරව් වීමත් සමග එකින් එකා තැනින් තැන කොටි පිස්තෝල කරුවන්ට බිලි වූ ඒ කණගාටුදායක යුගය බොහෝ දෙනාට අද අමතකව ගොස් ඇත. අද බදාම අනන්නට හමුදා සෙබලුන් යොදවා ඇතැයි කිඹුල් කඳුළු හෙලන බොහෝ දෙනා එදා ඒ ගලා ගිය වීර ලේ පිළිබඳ මුනිවත රකිති.අද ඒ සියලු පාපයන් ප්‍රහීන කළවුන් සේ පෙනී සිටින මහත්වරුන් පිළිබඳ නිවරදි ලෙස සවිඥ්ඥානිකවීම ඒ පාපයන් නිසා රටට අහිමි වූ මුතාලිෆ් වැනි වීරයන් වෙනුවෙන් ඉටු කල හැකි හොඳම යුතුකමයි.
මේජර් මුතාලිෆ් මුසල්ලානුවෙකි.ඔහු ඝාතනයට එල්ටීටීඊය සමග කටයුතු කලා යැයි නීතිය හමුවේ චෝදනා නැගෙන හමුදා මේජර්වරයෙකු වූ ඞී.එම්.දසනායක සිංහලයෙකි. ඒ අදය.එදා 1815 පාවදීමේදී මුලින්ම කියවෙන්නේද මරක්කල නාමයකි.උතුවන් කන්දේ සූර සරදියෙල් සුද්දාට පහර දෙන විට ඔහු පාවා දුන්නේ මම්මලේ නම් මුසල්මානුවා බවද අපට මතකය.ද්‍රෝහී භාවය ජාතිය මත නිර්ණය කිරීමේ යම්කිසි වරදක් ඇති බව නොවේද එයින් අපට ගත හැකි පාඩම? සරල ඉරි ගසා පොදු කුලකවලට දමා මිනිසුන් බෙදා දැමීමේ නොසලකා හැරිය නොහැකි දෝෂයක් ඇති බවද එම උපන් ගෙයි දෝෂය බහුතර සංස්කෘතීය තුලට අවශෝෂණය වීමට අන් සංස්කෘතීන් වල සිටින්නන්ට බාධකයක් බවද අප දැන්වත් වටහා ගත යුතුය.සිංහල බහුතර සංස්කෘතිය තුලට ඔවුන් අවශෝෂණය කරගත හැක්කේ ඒ බාධකය බිඳ දැමීමෙන් පමණි.පොදු කුලකවලට දමා බැහැර කිරීම මගින් එම අවශෝෂණයට ඉඩ ඇහිරීමෙන් සිදුවන හානිය අති මහත්ය.
මුතාලිෆ්ලා අපට කියාදෙන පාඩම නම් බහුතරයගේ සංස්කෘතිය තුලද සුළුතරයේ පුරුක්වලට පවා වීරයන් විය හැකි මගක් ඇති බවය.ඒ බහුතරයේ සංස්කෘතියට පිටස්තරයන් වෙමින් අසමානකම් වර්ධනය කරගැනීමෙන් නොව ඒ සංස්කෘතියේ කොටස් කාරයන් වෙමිනි. දෙමළ ජාතිවාදී කොටි ත්‍රස්තයන් සිංහල සමාජය තුල අගු පිළෙනුත් කුණු මුල්ලට අතු ගෑවෙද්දී දෙමළ ජාතිකයෙකු වූ මුරලිදරන් සිංහල සමාජය තුල වීරයකු වන්නේද එලෙසමය. ආගමික -වෙළඳ බලහත්කාරය බහුතරය මත වදෙන් පොරෙන් පටවන්නට තනන අන්තවාදය ව්‍යාප්තවාදය හිසේ තබාගත්තවුන් මුතාලිෆ් ලාගෙන් අද දවසේ ඉගෙන ගත යුත්තේ එයයි. අද ඔහු ගැන තබන මේ කෙටි සටහනද සමහරකගේ ලේ කෝප කරවන කරුණක් වන්නට පුළුවන. ඒ Instant දේශප්‍රේමීන් ද වටහා ගත යුතු කරුණක් ඇත.එනම් අන්තවාදය සහ සාමාන්‍යය යන අන්ත දෙක අතර ඇති අවකාශය තුල සිටින්නන් සියල්ල එක පොදු කුලකයකට දමා පහර දීමෙන් දිනා ගත හැක්කක් නොමැති බවය. එමගින් සිදුවන්නේ අන්තවාදය ,වෙන්වීමේ පරිකල්පනය දෙසට රේඛාවේ මෙහා අන්තයේ සිටින්නන්ද ඇදී යාමය.දෙමළ ජාතිවාදය පැරදවීමේදී එය මතවාදිව නිවරදි ලෙස වෙන් කරගත් නිසා මව්බිමට ජයග්‍රහණය ගෙන ඒමට හැකිවිය. සාමාන්‍ය දෙමළ ජනයා සහ කොටි ත්‍රස්තවාදියා යනු එකෙක් නොව දෙදෙනෙකු ලෙස නිවරදිව වෙන් කරගැනීම තුලින් අදද වැල්ලවත්තේ සෙල්ලදොරෙයි අයියාටත් ධර්මදාස අයියාටත් එකට සිටිමින් ප්‍රභාකරන් පැරදවීමට හැකිවිය. එමගින් ඊළම බිහිවීමේ දරුණු අවධානම නැති කරගැනීමට හැකි විය. අනාගතයේ නසරිස්තාන බිහිවීමේ අවධානම ගැන සවිඥ්ඥානික බොහෝ දෙනා සිතට ගත යුතු කරුණ එයයි. එය ඉටු කර ගත හැක්කේ බාහු බලයට වඩා අනාගතය විනිවිදිය හැකි විද්ග්ධ දැක්මකින් සන්නද්ධ වීමෙන් පමණි. මුතාල්ෆ්ලා වෙනුවෙන් ඉටු කල හැකි හොඳම යුතුකමද එයයි.
අද අපි බිය සැක නැතිව පාරේ ඇවිද යන්නේ මුතාලිෆ් වැනි රණ විරුවන් දස දහස් ගණනක් දිවි අහිමි වන තරමටම කළ කැප කිරීම නිසාය. ඔවුන්ගේ ජීවිත පරිත්‍යාගයට අර්ථයක් ඇත. නමුත් දැන් ඇමරිකාව හා ඉන්දියාව එකතු ව අන්තර්ජාතික අධිකරණ හා ආර්ථික සම්බාදක නමැති බිල්ලා පෙන්වා රජය දණ ගස්සවා උතුරු පලාත් සභාව දෙමළ බෙදුම්වාදීන් අතට පත් කොට මුතාලිෆ්ලාගේ මරණයේ අරුත නිරර්ථ කිරීමේ වෑයමෙහි උච්ඡතම අවස්ථාවට පැමිණ ඇත. ඒ තුච්ඡ ව්‍යාමය සපල වන තුරු බලා සිටිනා ඇතැම් සිංහල කැබිනට් ඇමතිවරු ද ,මුස්ලිම් කොංග්‍රසය ද, එක්සත් ජාතික පක්ෂයද එන්ජීඕ බත් බැලයන් හා තවත් ද්‍රෝහී බලවේග දෙමළ සන්ධානය සමඟ එක මතයකට අත්වල් බැද සිටින යුගයකි මෙය. බෙදුම්වාදය ශක්තිමත්වන ව්‍යවස්ථා මර උගුල, එනම් 13 වන ව්‍යවස්ථා සංශෝධනයට හිමි විසකුරු ඉඩම් හා පොලිස් බලතල , හා පළාත්බදව නීති සම්පාදනය කිරීමේ ව්යවස්ථාමය බලතල එලෙසම සම්බන්ධන්ලා අතට පත් කොට සමස්ථ යුධ විරුවන් දිවි දුන් උත්තම අරමුණ අමු අමුවේ කෙලෙසා දමන්නට මාන බලන අමණයින් හා මුතාලිෆ් පාවා දුන් දසනායකලා අතර වෙනසක් නොමැති බව අප හොඳින් වටහා ගත යුතුය.
- යුතුකම සංවාද කවය
Post Comment
No comments