නුවරඑළි නොයන්නැයි මුස්ලිම්වරුන්ට SMS
නුවරඑළිය වසන්ත සැණකෙළිය සඳහා මුස්ලිම් ජාතිකයින්ට සහභාගීවීයමට කිසිදු බාධාවක් නොමැති බව නුවරඑළිය ප්‍රධාන මුස්ලිම් පල්ලිය පවසයි.
නුවරඑළිය ජුම්මා පල්ලියේ දායක සභාවේ සභාපති හා නාගරික මන්ත්‍රී මොහොමඩ් ෆලීල් මහතා, පවසන්නේ මුස්ලිම් ජාතිකයින්ට මෙවර වසන්ත සැණකෙළිය සඳහා සහභාගී නොවන ලෙසට දන්වමින් යවා ඇති කෙටි පණිවිඩ අසත්‍යය ඒවා බවයි.
නුවරඑළියේ වසන්ත උත්සවය කඩාකප්පල් කිරීම සඳහා කිසියම් පිරිසක් එස් එම් එස් කෙටි පණිවුඩ මගින් ගත් ගන්නා උත්සාහයට නොරැවටෙන ලෙස නුවරඑළිය මහ දිසාපති ද, නගර ප්‍රධානීහු ද මහජනයාගෙන් ඉල්ලා සිටී.
සැනකෙළි සමයේ නුවරඑළියට නොයන ලෙස එස් එම් එස් කෙටි පණිවුඩ මගින් මුස්ලිම් ජනයාට දන්වා ඇතැයි දිසාපති ඩී පී ජී කුමාරසිරි මහතා ද, පුරපති මහින්ද දොඩම්පේගම මහතා ද, නියෝජ්‍ය පොලිස්පති ආනන් විජේසූරිය මහතා ද පැවසූහ.
මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව පැවසූ දිසාපති එම පණිවුඩ නොතකා නුවරඑළි එන ලෙස මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
නුවරඑළියට එන හැමගේ ආරක්ෂාව තර කිරීමට ත්‍රිවිධ හමුදාව හා පොලීසිය ක්‍රියා කරන බවත් නුවරඑළියේ පැවති පුවත්පත් සාකච්ඡාවකදී දිසාපති, පුරපති හා නියෝජ්‍ය පොලිස්පති කීහ.
නුවරඑළිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී මොරපේ කුසලඤාණ හිමියන් කතා කරමින් එහිදී පැවසුවේ නුවරඑළිය සිංහල දෙමළ මුස්ලිම් හැම කෙනකුම සහජීවනයෙන් ජීවත් වන බවයි. එස්එම්එස් ක්‍රියාව කඩාකප්පල්කාරී වැඩක් බව කී ඒ හිමියෝ නුවරඑලියට එන මුස්ලිම්වරුනට කිසිම හිරිහැරයක් නොවනු ඇතැයි ද කීහ.
No comments