අද අසාත් සාලි හෙට? මෙය නතර වෙයිද?
පසුගිය කාලය තුල රාජපක්ෂ රජය සහ එහි අනුබලයෙන් ක්‍රියාත්මක වන ආගම්බේධකාරී කල්ලි කන්ඩායම් විසින් ලංකාවේ ආගමික සහජීවනය බිඳ දැමීමට උත්සාහ දරන අවස්ථාවේ එයට එරෙහිව අභීත ලෙස හඬ නැගුවන් අතර අසාත් සාලි මහතාද ප්‍රමුඛ අයෙකි. අසාත් සාලි මහතා ඒ වන විටත් ආන්ඩුවෙන් ඉවත්ව කටයුතු කළ නිසා විපක්ෂ ක්‍රියාකාරීයෙක් නිසා මෙය සාධාරණීකරණය කිරීමට බොහෝ දෙනෙකු උත්සාහ දරන ලදී.
නමුත් මා වැනි මධ්‍යස්ථව කටයුතු කරන අය පවා ආන්ඩු විරෝධී ස්ථාවරයකට පත්වුයේ ජනපති සොයුරු ගෝඨාභය රාජපක්ෂ සෘජුවම මෙම අන්තවාදී කල්ලි කන්ඩායම් ඇසුරු කිරීම නිසා සහ ලංකාව තුල ආගමික සහජීවනය සම්පුර්ණයෙන්ම අනතුරේ හෙළු ගලගොඩඅත්තේ ඥානසාර චීවරධාරියාට විරුද්ධව නීතිය කිසිදු අයුරකින් ක්‍රියාත්මක නොවන බව පෙනීයාම නිසයි. තවදුරටත් හිතට එකඟව රජය විසින් ගෙනයන මේ ක්‍රියාවන් ජනතාවට හෙලි නොකර සිටිය නොහැකි නිසා වෙබ් අඩවිය තුල රජයද විවේචනය කිරීම ආරම්භ විය. මෙහි ප්‍රථිඵලය වුයේ ලංකාවේ ජනප්‍රියම බ්ලොග් අඩවිය වශයෙන් කිරුළු දැරූ අප අඩවිය ලංකාව තුල අවහිර වීමයි.
දැන් ආන්ඩුව විසින් කෙසේ හෝ අසාත් සාලි මහතාව නිහඬ කිරීමේ මෙහෙයුම අරඹා ඇත. රජයට අවශ්‍ය ඔවුන්ගේ අන්තනෝමතික ක්‍රියාවන් හෙළිකරන සියළුම දෙනා නිහඬ කිරීමයි. ඔවුන් ඒ සඳහා ගන්නේ ඔවුන් විසින් අතීතයේදී ඔවුන්ගේ විරුද්ධ කාරයන්ට කළ ක්‍රියා පිළිවෙතමයි. රජයේ උදහසට ලක්වු කෙනෙකු එක්කෝ එය දැනුණු වහාම විදෙස් රටකට පලා යා යුතුය. නැතිනම් රජය මගින් කුමණ හෝ නඩුවක් පටලවා අත්අඩංගුවට ගැනීම සිදුකරයි. මෙහිදී කිසියම් කෙනෙකු අත්අඩංගුවට පත්වු පසු සිදුවන්නේ ඔහුගේ වටා සිටි සියළුම දෙනා තමන්ටද අනතුරක් සිදුවේ යැයි භීතියට පත් වීමයි. මෙමගින් රජයට එරෙහි සටන් කරුවා හුදකලා වීම ඇරඹේ. ඉන්පසුව ඔහුට කරන්නට සිදුවන්නේ හුදකලා අරගලයකි.
ඊයේ අසාත් සාලි මහතා අත්අඩංගුවට පත්වු පසුද මා දුටුයේ මෙවැනි අවස්ථාවකි. මා ලංකාවේ වගකිවයුතු මුස්ලිම් නායකයන් කිහිප දෙනෙකු ඇමතුවෙමි. ඔවුන් මෙම අවස්ථාවේ කටයුතු කරන්නේ ඇඟ බේරාගෙන යැයි මට පසක් විය. කිසිවෙකු ඉදිරියට විත් අසාත් සාලි අත්අඩංගුවට ගැනීමට විරෝධය පලකරතියි බලාපොරොත්තු විය නොහැකි බව මට පසක් විය. ඇත්තටම මාද මෙවැනි අනතුරුදායක තත්වයකට පත්වන්නට ගියමුත් නුවණ මෙහෙයවා කලින්ම අනතුරක සේයාව එන විට ආරක්ෂිත පියවර ගත් නිසා අද මෙසේ සිටීමට හැකි වීම ගැන අල්ලාහ්ට තුති පිදුවෙමි.
නමුත් අනාරක්ෂිත බව අද අප හැමෝම වෙලා ඇත. අද අප අසාත් සාලිව හුදකලා කරන්නේ නම් හෙට අපටද හුදකලා වීමට සිදුවනු ඇත. මේ නිසා මා ඉල්ලා සිටින්නේ කරුණාකර සියළුම පක්ෂ බේධ අමතක කර අසාධාරණ ලෙස අත්අඩංගුවට පත්වු අසාත් සාලි මහතා බේරා ගැනීමට සැවොම එක්සත් වන ලෙසයි. නැතිනම් අද අසාත් සාලි! හෙට මම සහ ඔබ විය හැක.
Post Comment
No comments