Breaking News

අද පැවැත්වෙන පොදු රාජ්‍ය අමාත්‍ය ක්‍රියාකාරී කමිටු රැස්වීම තීරණාත්මකයි

අද පැවැත්වෙන පොදු රාජ්‍ය අමාත්‍ය ක්‍රියාකාරී කමිටු රැස්වීම තීරණාත්මකයි

පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල අමාත්‍ය ක්‍රියාකාරී කමිටුව අද (26) ලන්ඩන්හිදී රැස්වීමට නියමිතය.

බංග්ලාදේශ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය දීපු මෝනි අමාත්‍ය ක්‍රියාකාරී කමිටුවේ සභාපති ධුරය දරන අතර රටවල් 9 ක විදේශ අමාත්‍යවරුන් ඊට සහභාගී වේ.

එම රටවල් වන්නේ ඔස්ට්‍රේලියාව, කැනඩාව, ජැමෙයිකාව, මාලදිවයින, සියරාලියොන්, ටැන්සානියාව, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ සහ වනුආටු යන රාජ්‍යයන්ය.

දින තුනක් පැවැත්වෙන මෙම සැසියේ දී පොදු රාජ්‍ය මණ්ඩලීය මූලධර්ම අනුගමනය කිරීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමුවේ.

මේ වසරේ පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම පිළිබඳ එම කමිටු රැස්වීම තීරණාත්මක එකක් වනු ඇති බව විචාරකයින් පෙන්වාදෙයි.

අදාළ සමුළුව නොවැම්බර් 15 වැනිදා සිට 17 වැනි දින දක්වා කොළඹ දී පැවැත්වීමට යෝජනා වී තිබේ.

එහෙත් එය මෙරට දී පැවැත්වීමට එරෙහිව විවිධ රටවල්, සංවිධාන සහ කණ්ඩායම් බලපෑම් එල්ල කිරීම විශේෂත්වයකි.

මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ප්‍රමාණවත් හා අර්ථාන්විත වර්ධනයක් නොදක්වන්නේ නම් රාජ්‍ය නායක සමුළුව මෙරටදී පැවැත්වීමෙන් වැළකී සිටිය යුතු බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය යළි අවධාරණය කර තිබේ.

දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හිදී රැස්වූ 18 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය නීති සම්මේලනය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කරගත් යෝජනාවක් ද අද සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කැනේඩියානු අග්‍රාමාත්‍ය ස්ටෙෆාන් හාපර් ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී නොවන බව තහවුරු කර ඇතැයි පී.ටී.අයි. පුවත් සේවය වාර්තා කළේය.

එම සමුළුව ශ්‍රී ලංකාවේ දී නොපවත්වන ලෙස ඔහු විසින් යෝජනාවක් ඉදිරිපත් කිරීමට ද නියමිතය.

මේ අතර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අදාළ සමුළුවට සහභාගී නොවන ලෙස තමිල්නාඩු ඩී.එම්.කේ පක්ෂය පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල් කිහිපයකින් ඉල්ලීමක් ද කර තිබිණි.

පසුගියදා රජයේ නිල පුවත් අඩවිය පවසා සිටියේ ශ්‍රි ලංකාවේ 2013 වසරේ පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායකයින්ගේ සමුළුව සඳහා සත්කාරක රාජ්‍ය වශයෙන් ශ‍්‍රී ලංකාව තෝරා පත් කරගෙන ඇති බවය.

 

(D IND)

No comments