Breaking News

මගේ ඉදිරි පියවර - අන්වර් මනතුංග

next_stepඅන්වර් මනතුංග බ්ලොගය තහනම් වීම ගැන සමහරුන්ට ඇත්තේ කාලකන්නි සතුටක්. ඒ බව ඔවුන් විවිධ වෙබ් අඩවි තුල දමන ප්‍රතිචාර වලින් පේනවා. මම දකින්නේ මෙහි සුබවාදී පැත්තක්. කෙටිකාලීනව අවාසියක් ලෙස පෙනුනද දීර්ඝ කාලීනව වාසි සහගත තත්වයක් උදාකරගත හැකියි. ඒ සඳහා ඉවසීමෙන් සහ සැලසුම් සහගතව කටයුතු කළයුතු බව මගේ අදහසයි. අන්වර් මනතුංග බ්ලොගය මෙන් රජයට හිසරදයක් වු තවත් වෙබ් අඩවි කලින් තහනම් වුණා. එයින් සමහර ඒවා නැතිවුණු නමුදු තවත් සමහර අඩවි අදත් ක්‍රියාත්මක වෙනවා.

රජය මෙලෙස අසාධාරණකම් කරනවා නම් අප කළයුත්තේ රජය කරන අසාධාරණකම් වලට පිළිතුරු දීමයි. එයට වඩා හොඳම පිළිතුර නම් වෙබ් අඩවිය ඒ අයුරින්ම පවත්වාගෙන යාම සහ එහි අදහස් ජනතාව වෙත ගලා යාමට මග සැලසීමයි. අප දැන් පලමුව කළයුත්තේ පාඨකයන් හට මෙම බාධක බිඳගෙන වෙබ් අඩවියට පැමිණීමට ඇති අවස්ථාව වැඩි කිරීමයි. එයට අප විසින් තහනම්වු වෙබ් අඩවි වලට යා හැකි මාර්ග පිළිබඳව ඔවුන් දැනුවත් කළ යුතුයි. මේ සම්බන්ධව තාක්ෂණික දැනුම සහිත අය ඉදිරිපත් විය යුතු බව මගේ අදහසයි. තහනම් වු වෙබ් අඩවියකට යන්නේ කෙසේද? යන්න පියවරෙන් පියවර විස්තර කරදෙන කුඩා ලිපි සකසා ඒවා ෆේස් බුක් ජාලය හරහා පැතිරවීමෙන් පාඨකයන් දැනුවත් කළ හැකියි. ඒ සඳහා හැකියාව ඇති අය ඉදිරිපත් වන ලෙස මා ඉල්ලා සිටිමි. ඒ සම්බන්ධ ඔබගේ ලිපි anvermanatunga@gmail.com යන ලිපිනයට එවන්න.  

බොහෝ දෙනෙකු මගෙන් ඉල්ලා සිටින්නේ ෆේස් බුක් තුලට පැමිණ ලියන ලෙසයි. නමුත් ඒ ගැන මගේ කිසිදු අදහසක් නැහැ. එය ඇත්තටම අනුන්ගේ තැනක කූඩු තැනුවාට සමානයි. කිසියම් දිනයක එතැන අපට අහිමි වන්නට පුළුවන්. අප ඔවුන්ට ආර්ථික වාසි අත්පත් කරදී දිනයක අකුලාගෙන යාමට සිදුවුවහොත්! ඒ නිසාඅප කළයුත්තේ අප අඩවියට පැමිණෙන්නේ කෙසේද? යන්න ෆේස් බුක් තුලින් ජනතාව දැනුවත් කිරීම බව මගේ අදහසයි. මන්ද අප මුණුපොත තුල ලිපි පලකළහොත් පාඨකයන් හට වෙබ් අඩවියට පැමිණීමට අවශ්‍ය නොවනු ඇත. ඒ නිසා මා ඉදිරියටත් කරන්නේ ෆේස් බුක් තුල ලින්ක් පලකිරීම පමණයි. නමුත් ෆේස්බුක් තුල ප්‍රොක්සි හරහා අප අඩවියට එන ආකාරය සම්බන්ධ ලිපි පමණක් පලකිරීමට බලාපොරොත්තු වෙමි.   

මෙම අඩවියට ලෙංගතු සැමගෙන් මා ඉල්ලා සිටින්නේ දැන් ඔබේ වාරය පැමිණ ඇති බවයි. තහනම් වු වෙබ් අඩවියකට යා හැකි විධිපිළිවෙත් සොයන්න. ඒ ගැන ලිපි සාදා මවෙත එවන්න. එමෙන්ම ඒ ගැන ඔබට හැකි අයුරින් පාඨකයන්ද දැනුවත් කරන්න. ජාතිවාදය ඇවිළු සහ එයට එරෙහි වන අප වැනි අයට වැට බැන්දු මේ ආන්ඩුව ගෙදර යනතෙක් ඉන්ෂා අල්ලාහ්! අප අන්වර් මනතුංග බ්ලොගය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ඔබ සැමට දන්වමි!

 

කරුණාකර හැකියාව ඇති කෙනෙක් මෙම ලිපිය ඉංග්‍රීසි බසට පරිවර්තනය කර එවන්න.

දමිල බසට පරිවර්තනය කර දමිල වෙබ් අඩවි වල පලකරන්න.

 

අන්වර් මනතුංග

No comments