මචං….. ඥානසාර!
අපිත් එක්ක එකට සිගරට් එක බොන, බියර් වීදුරුව ගහන බඩු කෑලි ගැන කතා කරන හාමුදුරුලාට අපි කියන්නෙ මචං සාදුලා කියලා. ඉතින් ඒ මචං සාදුලා අතර අද වෙනකොට ඉහළින්ම ඉන්න අය ගැන අපි දන්නවනෙ. ඒත් මචං ඥානසාර අපේ මචං සාදු කෙනෙක් වෙන්නෙ වෙන කාරණාවක් හින්දයි. ඒ තමයි මචං ඥානසාර අද ලංකාව ඉන්න ලොකුම චන්ඩියා.
නාවල නිහාල්ලා, බැද්දෙගානේ සංජීවලා බෙල්ලන්විල ඩිලන්තලාට වඩා මාර පවර් එකක් මචං ඥානසාරට තියෙනවා කියලා අපට පෙන්නෙ. ඉතින් ඒකයි මචං ඥානසාර මම මේ ලියුම මෙහෙම ලියන්නෙ.
ඉතින් මචං ඥානසාර දැන් ගේම නැගලා යනවා නේද? හතරදිබ්බාගයේම ඉන්න හම්බයෝ ටික දැන් පුල් හොල්මන් වෙලයි ඉන්නෙ. මට ඊයෙ පෙරේදා ආරංචියක් ආවා මචං ඥානසාර ලංකාවේ ඉන්න හම්බයො සේරම එකතුවෙලා නැවක් හදනවලු. ලංකාවෙන් පිටවෙලා අරාබියට යන්ඩ. ඒක හරියට අර හීබෘ බයිබලේ තියෙන නෝආගේ නැව වගේ එකක්ලු. සේරම කට්ටියයි ඒගොල්ලන්ගේ සත්තු සරපයි සේරමයි මේ නැවට පටවන්ඩලු හදන්නෙ. ඇත්තටම මචං ඥානසාර ඔබ බලසේනාවේ පවර් එක කොයිතරම් ද කියලා දැන් මේ රටේ මිනිසුන්ට තේරෙනවා ඇති නේද? ඇත්තටම අපට අර යුද්දෙන් පස්සෙට කිසිම ත්රිලක් නැතුවනේ හිටියෙ. ඒ හින්දා මේ දවස්වල මචං ඥානසාර තමයි අපේ වීරවික්රම ත්රාසජනක සටන් නළුවා. ගියා ඇල්ලුවා බෙල්ලෙන් දඩින් බිඩි දොඩං! මම මේ විස්තරේ අපේ තාත්තාට කිව්වා. ඔන්න කිව්වා විතරයි උන්දෑ මෙන්න පරලවෙලා මට අම්බානක නෙලන්ඩ පටන් ගත්තෙ නැතෑ.
“ප්රභාකරන් මේ රටේ එවුන් ඉගෙන ගත්තෙ පාඩං බාගයයි. අනිත් බාගේ ඉගෙන ගන්නෙ කවුරු හරි මුස්ලිම් මිනිහෙකුගෙන් කියලා උඹත් මතක තියාගනින්. ඔය ඥානසාරලා, විමලජෝතිලා, බෙංගමුවෙ නාලකලා, ඇල්ලෙ ගුණේලා වගේ මචං සාදුලා හින්දා මේ රට ඊළඟට වැටෙන වළෙං ගොඩ ගන්ඩ කාට පුළුවන් වෙයිද දන්නෙ නැහැ. අන්තිම දෙමළාගේ හම අරගෙන සපත්තු සෙරෙප්පු හදලා දානවා කිව්ව රාජරත්නලා හින්දා අපි අවුරුදු තිහක් හොඳට බඩකට පුරා කෑවනේ. දැන් මේ ඥානසාරලා හින්දත් ඉදිරි කාලෙදි තවත් පරම්පරා කීපෙකට මේකෙ විසදුමක් නැතිවෙන තැනටයි වැඩ සිද්ධ වෙන්නෙ. ඕන් උඹ හොඳට මතක තියා ගනින්.”
ඇත්තමයි මචං ඥානසාර මේ මිනිහට නන් හැදිලා තියෙන්නේ පුදුම ලෙඩක්. ඇයි මේ මනුස්සයා පේන්නෙ නැත්තෙ මේ රට අපේ කියලා මේ රට අයිති සිංහල අපිට විතරයි කියලා මේක ඇතුළෙ ඉන්න අනිත් ජාතිකාරයෝ සේරම ඉන්ඩ ඕනෑ අපට පහළින් කියලා. මේ තරම් සරල දෙයක් ඇයි මේ මනුස්සයාට තේරෙන්නෙ නැත්තෙ. මේක අපේ රට, සිංහල බෞද්ධ අපිට තමයි මේ රට අයිති. අනිත් ඉන්න දෙමළුයි හම්බයොයි ඉන්නවා නම් ඉන්ඩ ඕනේ අපට කප්පං දීගෙන වගේ යටහත් පහත්වයි. එහෙම නැතිවුණොත් කවදාහරි අපිට සිද්ධ වෙයි මුන්ට යටත් වෙන්ඩ. නේද මචං ඥානසාර?
එදා මචං ඥානසාර අර දඹුල්ලෙ කේස් එක වෙලාවෙදි අපේ තාත්තට මල පැනලා. එහෙට මෙහෙට ඇවිද ඇවිද කියවනවා. අනේ මන්දා මේ මිනිහාගේ තාත්තා හම්බයෙක් කොහේද කියලත් මට සැකයි. ඇයි මචං ඥානසාර මනුස්සයට මේ තරම් කැක්කුමක්?
“දඹුල්ලෙන්නේ මේ උන්නාන්සේලා ඔය කෙරුවාව පටන් ගත්තෙ. හැබැයි දැන් වෙන කොට දඹුල්ලෙ උන්නාන්සේ නිශ්ශබ්දයි. දුවන කෝච්චියට බෙල්ල තිබ්බෙ විමලජෝති උන්නැහේ. එයා ඉතින් කොහොමත් තණ්හා කාරයනේ. එයා ඉඩකඩන් පවරා ගත්තු විදිහ ගැනත් පළාතෙ මිනිස්සු දන්නවනේ. ඒක හින්දා ප්රසිද්ධියටයි බලයටයි සල්ලි කෑදරකමටයි බොරුවට ජාතියයි ආගමයි ඉස්සරහට දාගෙන බුරන්නෙ නැතිව තම තමන්ගෙ ව්යාපාර කටයුතු කරගෙන හිටියාම ඉවරයිනෙ. අනික ඉතින් ඥානසාර උන්නැහේ ගැනත් දන්නෝ දනිති. ඔබ උඹලා වගේ පැගිරෝ නොදන්නවා වුණාට දන්න කියන මිනිස්සුන්ගෙන් අහලා බලාපන්. තමුන්ගෙ වැරදි කෝටියක් තියාගෙන මේගොල්ලෙ මේ රට ගිනි තියන්ඩ හදනවා. අම්මපා මුන්නැහෙලා දන්නවද මේ කරන දේවල් වල තියෙන බරපතලකම්.”
ඇත්තටම මචං ඥානසාර මට මේවා අහගෙන ඉන්නකොට කේන්ති යනවා තමයි ඒත් ඉතින් අපේ තාත්තා කියන සමහර දේවල් ඇත්ත කියලත් සමහර වෙලාවට හිතෙනවා. මොකද මචං ඥානසාර ඔය විමලජෝති උන්නැහේලා ගැන මේ පැත්තෙ මිනිස්සු අපේ තාත්තාට හුඟක් දේවල් පහුකාලෙදි කියලා තියෙනවා. ඒත් මිනිස්සුන්ගෙ තියෙන නූගත්කම හින්දා ඒවා වැළලිලා තියෙනවා කියලයි අපේ තාත්තා නම් කියන්නෙ.
“රටක් වර්ගවාදී ගිනිදැල් අවුලවනවා කියන්නෙ මොනතරම් අපරාධයක් ද කියලා මේ උන්නැහේලාට තේරෙන්නෙ නැත්තෙ උන්නැහේලාගේ තියෙන තණ්හාධිකම හින්දම මිසක් වෙන මොකක්ද? මෙතනදී ඒගොල්ලෝ හොයන්නෙ මොකක් හරි බලයක් අත්පත් කර ගන්න විදිහක් ගැනයි. අනික තමයි ප්රභාකරන් නැති ලංකාවේ සම්පූර්ණ අයිතිය තියෙන්නෙ මචං සාදුලාටයි ඒ ගොල්ලන්ගෙ දායක දායිකාවන්ටයි කියලයි ඒගොල්ලො හිතන්නෙ. උඹලට මේවා තේරෙන්න තව ආත්ම ගණනක් යයි. මේ මොන බුද්ධ ධර්මයක්ද බන් ශුද්ධ යුද්ධය කියලා දෙයක් තියෙන්නෙ මුස්ලිම් ආගමේ මිසක් බුද්ධ ධර්මයේ නෙමෙයි. කොහෙද බන් බුදු හාමුදුරුවො කියලා තියෙන්නෙ අනිත් ආගම්වල මිනිසුන්ට ගහන්ඩ බනින්ඩ තර්ජනය කරන්ඩ කියලා. ඒ වගේ එකක් තියෙනවා නම් ඒක ගෞතම බුදුන්ගෙ ධර්මයක් නෙමෙයි. ඔය ඥානසාරලාගේ විමලජෝතිලාගේ ධර්මයක්.”
තාත්තා එහෙම කිව්වට මචං ඥානසාර අර නෝලිමිට් වගේ තැන්වලින් ඇඳුම් ගන්ඩ එපා කියලා සිංහල බෞද්ධ ජනතාවගෙන් අපි කරන ඉල්ලීම එහෙම සුළුවට තකන්ඩ පුළුවන්ද? ඒක අපි අපේ රට ජාතිය වෙනුවෙන් කරන ඉල්ලීමක්. දැනටමත් අපේ සිංහල මිනිසුන්ගේ ඉඩම් ගෙවල් වලින් සෑහෙන ප්රමාණයක් මුස්ලිම් එවුන් අරන් ඉවරයි. අපි තවත් නෝලිමිට් වගේ තැන්වලට ගිහින් ඇඳුම් ගත්තොත් උන්ට තවත් සල්ලි ලැබිලා අපේ ඉතුරු ඉඩම් ටිකත් උන්ම ගනී. එතකොට අපිට මොකද වෙන්නෙ? ඕන මඟුලක් වෙච්චදෙන් කියලා මම මේ කාරණේ අපේ තාත්තාට එල්ල කලා. උන්දෑගෙ ඇස් ලොකු වුණා. මම හිතුවා මිනිහා හිරවුණාවත් ද කියලා. එහෙම හිතල හිත මෙහාට ගන්ඩ හම්බවුණේ නෑ. ඇන්තූරියම් පඳුරෙ දිරච්ච පොල් ලෙලි වලට බුලත් කෙළ පාරක් විදලා ඔන්න දීපු උත්තරේ.
“අර එක ගොනෙක් පහුගිය කාලෙ කිව්වනෙ ඇමරිකාවේ දෙවල් සේරම වර්ජනය කරන්න කියලා. ඒත් මේ රටේ ඉන්න බල්ලෙක් පූසෙක්වත් ඒ ඉල්ලීම ගැන ඩිංගක්වත් තැකුවෙ නෑනෙ. ඉතින් ඒ වෙනුවට ඇමරිකාවෙන් උඹලට හොයලා දුන්නු විස්තරේ තමයි මේකෙ ඉන්න එවුන් ඇමෙරිකාවේ ඉන් එවුන්ටත් වැඩිය කාමය ගැන උනන්දුයි කියලා. හොඳයි නේද රිටර්න් එක. ඒ වගේ ඔය එක එක දේවල් වර්ජනය කරන්න කියලා කියපු කතා ඉස්සර වලංගු වුණාට ඒවා දැන් වලංගු නෑ බන්. ඉස්සර ඉන්දියාවේ කිව්වා බී ඉන්දියන් බයි ඉන්දියන් කියලා. ඒක බලාගෙන මෙහේ කට්ටිය හැදුවා. සියරට දේ සිරි සැපදේ කියලා ගහගෙන වික්කෙ රටකජු. ඒ වගේ ඔය කියන කතා ඔක්කොම තනිකරම බාල වර්ගවාදේ මිසක් වෙන මොකවත් නෙමෙයි.”
ඒ වුණාට මචං ඥානසාර ඔය කරගෙන යන වැඩේ නවත්වන්න එපා. ඕක ඵෙතිහාසික වැඩක් වෙන විදිහටම කරලා කෙළවර කරනවා මිසක්. ඒ හින්දා ඔය අපේ තාත්තා කියන කතා මචං ඥානසාර සත පහකටවත් ගනන් ගන්න එපා. අපි කොහොමහරි මේ වැඩේ දිගටම කරගෙන ගිහිල්ලා අපේ රට තනිකරම සිංහල බෞද්ධ මිනිස්සු විතරක්ම ඉන්න රටක් බවට පත්කර ගමු. ඒ සියලු දේ කරන්නට මචං ඥානසාරට සියලු සිංහල බෞද්ධ දේශහිතෛෂීන්ගේම පිහිටයි. මම නවතිමි.
මීට පැපරාසියාගේ පුතා
පැපරාසියා සඟරාව, 2013 ජනවාරි – පෙබරවාරි කලාපය, පිටු අංක 17
No comments